ඉම්රාන් ඛාන් ජයග්‍රහණය ප්‍රකාශ කරයි - ක්‍රිකට් නායකයෙක් රටක් අල්ලයි


(UPDATE) පාකිස්තානයේ මහ මැතිවරණය ජයග්‍රහණය තහවුරු කිරීමට හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් සමත්ව තිබේ.

නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් නොවුණත්, අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඛාන් පවසා සිටියේ තමන් දූෂණයෙන් තොර ශක්තිමත් ආර්ථිකයක් සහිත පාකිස්තානයක් ගොඩනැගීමට කැපවන බවයි.

පාකිස්තාන මැතිවරණ ඉතිහාසයේ වසර 71කින් පසුව එක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් අවසන් වීමෙන් පසුව, මැතිවරණයක් හරහා තවත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් වෙත බලය හුවමාරු වන දෙවැනි අවස්ථාව මෙය වෙයි.


පාකිස්තාන මහ මැතිවරණය ජයග්‍රහණය කරමින් එරට මීළඟ අගමැතිවරයා බවට පත්වීමේ ජයග්‍රාහී මාවතට හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් පැමිණ සිටියි.

කෙසේ වෙතත්, මෙවර මැතිවරණය ප්‍රචණ්ඩක්‍රීයාවලින් පිරී පැවති බවත්, මැතිවරණය දූෂණයෙන් පිරුණු එකක් බවත් ඔහු සමග තරග කරන සෙසු පක්ෂ චෝදනා කරයි.

ඡන්ද ගණන් කිරීම් සිදුවන මේ අවස්ථාවේදී ඉම්රාන් ඛාන් නියෝජනය කරන මධ්‍ය දක්ෂිණාංශික ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය මැතිවරණයෙන් බහුතර බලයක් සමග ජයග්‍රහණය කරනු ඇති බවට ඉඟි පළ කර ඇත.

ඡන්ද ගණන් කිරීම් ආරම්භයේදී ඉම්රාන් ඛාන් වෙත බහුතර බලයක් නොලැබී ඒකාබද්ධ රජයක් පිහිටුවීමට සිදුවනු ඇති බව කියවුණත්, මේ වනවිට ඔහුගේ ජයග්‍රහණය ස්ථිර බව පැහැදිලිය.

මෙම මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අද දිනයේදී එරට කොටස් වෙළෙඳ පොළ 1.9%ක වර්ධනයක් පෙන්වා ඇති බවද සඳහන් වෙයි.

විශේෂයෙන්ම පාකිස්තාන පාර්ලිමේන්තුවේ ආසන 272ක් වෙනුවෙන් තරග වදින මෙවර මැතිවරණයේදී හිටපු පාකිස්තාන අගමැති නවාස් ෂෙරීෆ් සහ හිටපු පාකිස්තාන අගමැතිනී බෙනාසීර් භූතෝගේ පුත් බිලාවල් භූතෝ වෙත පැහැදිලි ජනවරමක් හිමිව නොමැති බව සඳහන් වෙයි.

ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ අද (26දා) ඔහු විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ඇති බවයි.

මේ අතර, පාකිස්ථානයේ ඉම්රාන් ඛාන් ආධාරකරුවන් මේ වනවිටත් වීදිවලට බැස ප්‍රීතිඝෝෂා පවත්වමින් සිටින අතර, ඔවුන් තම ක්‍රිකට් වීරයා අගමැතිවරයා වනු දැකීම මහත් උණුසුම් අන්දමින් භාරගැනීමට සූදානමින් සිටින බව පාකිස්ථානයේ සිටින විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.



Recommended Articles